Wednesday, May 12, 2010

රණවිරු සතියට පූර්විකාවක්


අප රට ත්‍රස්ථවාදය පරදා මේවන විට වසරක් ගතවී තිබේ. රජය ඊට සිය ජීවිත පරිත්‍යාගයෙන් දායකත්වය ලබාදුන් රණවිරුවන් සිහිකිරීම සඳහා රණවිරු සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුන් තම දිවි දෙවෙනි කොට රට වෙනුවෙන් කල ඒ සත්කාරයට අපි අපගේ නමස්කාරය ඔවුන් වෙත පුද කල යුතු වෙමු.

ත්‍රස්ථවාදය මුලිනුපුටා දමා වසරක් ගතවන මේ මොහොතේ අප එය ප්‍රීතිමත්ව සැමරීම මෙන්ම නැවත මේ ලක් දෙරන තුල එවන් විපතක් ඇතිවීම වැලැක් වීමද කල යුතුය ඒ සඳහා අප ජාතියක් වශයෙන් කල වැරදි හදා ගැනීම මෙන්ම ඉදිරියට ඒවා නොකර සිටීමද අත්‍යයවශ්‍ය වේ.මෙම ඊලාම් අරගලය ඉබේ ඇතිවූවක් නොව අප විසින් ඇති කරගත්තක් බවද අප අමතක නොකල යුතුය.දහස් ගනන් ජීවිත විනාශ කර රට අඳුරු අගාධයකට ඇද දැමූ ඒ විනාශය අප ලංකර ග
ත්තේ කෙසේ දැයි මොහොතක් කියවන්න.


බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම

1948 පෙබරවාරි 4 වනදා සියවසකට වඩා වැඩි කාලයක් මෙරට යටත් කරගෙන සිටි ඉංග්‍රීසි පාලනය අවසන් විය. ඩී.එස් සේනානායක මහතා නිදහස් ලංකාවේ
ප්‍රථම අගමැතිවරයා විය. එම කාළයේදී මෙරට රාජ්‍යය භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි.රජයේ සෑම කටයුත්තක්ම ඉංග්‍රීසියෙන් සිදුවූ අතර ඉංග්‍රීසි නොදත් බොහෝ දෙනෙකුට විදුලි පණිවිඩයක් කියවා ගැනීම සඳහාත් ඉංග්‍රීසි දැනුම ඇත්තෙකුගේ උපකාරය සොයා යෑමට සිදුවිය.
මෙම තත්වය බොහෝ දෙනෙකු තම මව්බිම තුලම ආගන්තුකයන් කරන තත්වයක් වූ අතර සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව මේ නිසාම මතයක් ඇතිවෙමින් තිබිනි. කෙසේවෙතත් එය පසු කාලීනව ජාතිවාදීන් විසින් දේශපාලන ජයග්‍රහණ සඳහා භාවිතා කිරීම ජාතියේ අවාසනාව විය.
එවකට පැවැති රජයේ අමාත්‍ය ධූරයක් දැරූ එස්.ඩබ්ලියු,ආර්.ඩී බණ්ඩාරනායක මහතා රජයෙන් ඉවත් වූයේ අගමැතිකම නොදීමේ අවනඩුව පිටය. ඔහු එ.ජා.ප යෙන් ඉවත් වී ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීය.

බණ්ඩාරනායක පෙරැලිය

තත්වය මෙසේ තිබි
යදී 1956 පෙබරවාරි 18 වැනිදා පැවති රජය විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදී. අප්‍රියෙල් මස 5,7,10 යන දින තුනේ මැතිවරණය පැවැත්වීමට නියම විය.මෙම මැතිවරණ සටන තුල සිංහල රාජ්‍ය භාෂාව විය යුතුය යන්න විපක්ෂය විසින් ඇතිකල බිහිසුණු මෙන්ම ආකර්ෂණීය සටන් පාඨය විය. මෙම මැතිවරණයේදී පාලක එජාපයට එරෙහිව විරුද්ධ පක්ෂ එකතු වන සෙයක්ද දක්නට ලැබුනි.එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී.ල.නි.පයත් පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂයත් විජයානන්ද දහනායක මහතාගේ භාෂා පෙරමුණත් විපක්ෂ සන්ධානයේ ප්‍රධාන පාර්ශව වූහ.මෙය මහජන එක්සත් පෙරමුණ ලෙස නම් කරන ලදී. තමන් බලයට පත්වී පැය විසි හතරක් තුල සිංහල රාජ්‍ය භාෂාව කරන බව කියමින් බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ම.එ.පෙ නායකයන් රටවටා ගිය අතර ඔවුන් බහුතරයක් වූ සිංහල පමණක් රාජ්‍ය භාෂාව වියයුතුය යන මතයේ විය.එම ප්‍රකාශ බහුතර සිංහල ජාතිවාදී ඡන්ද ම.එ.පෙ වෙත ආකර්ශනය කිරීමට සමත් විය. මැතිවණ ප්‍රතිඵල නිකුත් වනවිට එය කොතෙක් දැයි දැකගත හැකිවිය. ම.එ.පෙ ආසන 51 දිනා ගනිමින් පැහැදිලි ජයක් වාර්ථාකල අතර සිංහල හා දෙමළ භාෂාවට සම තැන දෙනවායැයි කියූ එජාපය ආසන 8 පල්ලම් බැස තිබුනි.

සිංහල පමණයි

පැවැති ආණ්ඩුව ජනතාව විසින් වෙනස් කිරීමට තීරණය කලේ කිසිදු සමාජ-ආර්ථික හේතුවක් නිසා නොව සපුරා ජාතිවාදය නිසාමය.1956 අප්‍රේල් 12 වැනිදා එස්.ඩ්බ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතා නව අගමැති වශයෙන් දිවුරුන් දෙමින් නව රජය පිහිටු වන ලදී.සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නව රජයේ ප්‍රමුඛ කාර්යය විය.ඒ සඳහා වූ සිංහල භාෂා පනත 1956 ජූනි 6 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග ඊට දමිළ මන්ත්‍රී වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.ජී ජී පොන්නම්බලම් මහතා පනතට එරෙහිව දින තුනක් තිස්සේ කරුණු දැක්වූ අතර මනා දුර දැක්මක් සහිතව කටයුතු කල රොබට් ගුණවර්ධන , ආචාර්ය ඇන් ඇම් පෙරේරා වැනි සිංහල ජන නායකයින් පවා මෙම පනතට විරුද්ධ වූයේ සිංහල හා දෙමළ යන භාෂා දෙකටම සමතැන ලැබිය යුතු බව කියමිනි.
මෙම විවාදය මුල සිටම උණුසුම්ව පැවැති අතර පනත් ඡන්ද විමසීම පැවැති දා විපක්ෂයෙන් ඊට එරෙහිව දැඩිලෙස විරෝදය පෑ අතර සභාව කරගෙන යා නොහැකි තත්වයට පත් විය.සභාවේ කටයුතු වලට බාධා කරන මන්ත්‍රී වරුන් ඉවත් කරන ලෙස අගමැතිවරයා ආරක්ෂක නිලධාරීන්ට නියෝග කල අතර පොලිස් නිලධාරීන් පැමිණ සභාවට බධා කල මන්ත්‍රීවරුන් ඔසවාගෙන ගොස් පර්ලිමේන්තුව ඉදිරිපිට අති ක්‍රීඩාංගනයට දමන ලදී. කෙසේහෝ අවුල් වියවුල් රැසක් මැද සිංහල භාෂා පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය.මෙය බණ්ඩාරනායක රජය ලද ජයග්‍රහණයක් වුවත් පසුව අප ඒ සඳහා ගෙවූ වන්දියද අතිමහත්ය.


සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් සමග දෙමළ ජනතාව අතර නොසන්සුන්තාවක් හටගෙන තිබිනි.විශේෂයෙන් යාපනය වැනි වගාකිරීමට අසීරු ප්‍රදේශවල උගත් තරුණ තරුණියන් බොහේ දෙනෙකු රජයේ රැකියා සඳහා බලාපොරොත්තුවෙන් සිටි අතර සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම තුල ඔවුන්ට යන එන මං නැතිවිය.දෙමළ ජනයාටටද වෙනම රටක් අවශ්‍යයැයි මතයක් ඇතිවීමට මේ තත්වය හේතු විය. කෙමෙන් දෙමල ජනයා අතර සිංහල විරෝධී රැල්ලක් ඇතිවූයේ රජය සිංහල බලෙන් දෙමළ ජනයා මත පැටවීමට උත්සාහ කල නිසාය.අපි අපගේ ජාතියට හා මව් භාෂාවට ආදරය කරන්නාසේ අනෙක් සියලු ජාතිකයන්ද තමන්ගේ ජාතියට හා මව් භාෂාවට අප මෙන්ම ආලය කරනා බව තේරුම් ගැනීමට අපේ එකල රට කරවූ බණ්ඩාරනායක වැනි නායකයන්ට නොහැකිවීම ඉතාමත් අභාග්‍යයකි.

ප්‍රථම වරට හමුදා උතුරට යැවීම

වාහන ලියාපදිංචි කිරීමේදී එතෙක් ලබාදුන් ඉංග්‍රීසි අකුරු වෙනුවට "ශ්‍රී" අකුර හඳුන්වාදුන්වා දෙන ලදී. මෙම ශ්‍රී අකුර යෙදූ වාහන අංක තහඩුවල තාර ගෑමේ ව්‍යපාරයක් උතුරු හා නැගෙනහිර පලාත්වල පැතිරගියේ නැගෙමින් තිබූ සිංහල විරෝධයේ ප්‍රතිපලයක් ලෙසටය.එයට එකට එක කිරීමක් ලෙස දකුණේද බොහෝ ප්‍රදේශවල දෙමළ නාම පුවරුවල තාර ගෑමේ ව්‍යාපාරයක් ඇතිවිය. කෙමෙන් කෙමෙන් වර්ධනය වූ සිංහල හා දෙමල ජනයා අතර සැකය 1958 දී ජාතිවාදී කෝලාහලයක් බවට පත්විය. ඉන් විනාශ වූ ජීවිත හා දේපල සංඛ්‍යාව අතිමහත්ය.
රජය රටපුරා ඇඳිරි නීතිය පැනවූ අතර උතුරේ තත්වය පාලනය කිරීමට හමුදා සේනාංක උතුරට යවන ලදී.හමුදාව ප්‍රථම වතාවට උතුරට යැවූයේ එදාය. රටේ තත්වය අයහපත් වෙද්දී ඊට උපක්‍රමයක් ලෙස අගමැති බණ්ඩාරායක මහතා ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් මහතා සමග ගිවිසුමකට එලැඹියේය. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලගෙන් එල්ල වූ විරෝධයත් සමග
අගමැතිවරයා එම ගිවිසුම අත්හැර දමන ලදී.

1972 ජනරජ ව්‍යවස්ථාව ගින්නට පිදුරු දැමූ හැටි


කෙමෙන් යට යමින් පැවැති මෙම තත්වය නැවත මතු වී ආවේ 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීමත් සමගයි.එවකට පැවැති සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ සමගි පෙරමුණු රජය විශ්වවිද්‍යාල වලට සිසුන් තෝරා ගැනීමේදී ජනවාර්ගික පදනමට මුල් තැන ලබා දීම නිසා බොහෝ සුළු ජාතික දක්ෂ සිසුන්ට සරසවි වරම් අහිමිවන තත්වයක් ඇතිවිය. බොහෝ සුළු ජාතීන් මෙසේ කෙනහිලිකම් වලට ලක්වීමත් රටේ සියලු වරප්‍රසාද සිංහලයන් වටා කේන්ද්‍රගත වීමත් නිසා දමිලයන්තුල අසහනකාරී තත්වයක් ඇතිවිය.1975 මැයි මාසයේ දිනක වෙනම රටක් දිනා ගැනීමේ අරමුණ ඇතිව වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතු විමුක්ති කොටි සංවිධානය බිහි වන්නේත් ඒ වටා විශාල ලෙස තරුණ පිරිස් එකතු වන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙසටයි.

කළු ජූලිය

යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දෝරේඅප්පා ඝාතනය එල්.ටී.ටී.යේ පළමු ජන නායක ඝාතනයයි.එතැනින් වසර 6ක් ගිය තැන යාපනය අරාලි තුඩුවේදී මාර්ගයක අටවා තිබූ බෝම්බයකට හසුව හමුදා සෙබළුන් පිරිසක් මිය යාමේ සිද්ධිය නැවත ජාතිවාදී කෝලාහලයක් මෙරට තුල ඇවිලවීමට සමත් විය.1983 ජූලි මාසයේ වූ එම සිදුවීම ඉතා තීරණාත්මක සිදුවීමකි. නිළ වශයෙන් ඊළාම් යුද්ධය ඇරඹෙන්නේ එතැන් සිටය. මියගිය සෙබලුන්ගේ සිරුරු කොළඹට ගෙන ඒමට එවකට ජනධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විරුද්ධ විය.ඒ ජන කැළඹීමක් ඇති වුවහොත් ගැණිය නොහැකි තරමේ ජීවිත සංඛ්‍යාවක් විනාෂ වන බව දත් හෙයිනි. නමුත් එවකට සිටි හමුදාපතිවරයා එලඹ සිටි දැඩි ස්ථාවරයය වෙනස් නොකල අතර සියලුම සිරුරු කොලඹට ගෙනෙන ලදී.එය එකල මුලු රටම කම්පා කල සිදුවීමක් වූ බැවින් බොහෝ පිරිසක් බොරැල්ල කනත්තට එක් රොක් වී සිටියේ යාපනයේ සිට ගෙනෙන හමුදා සිරුරු වලට අවසන් ගෞරව දැක්වීමටය.බොහෝ වේලාවක් බලා සිටියද සිරුරු ගෙන ආවේ නැත. මේ නිසා නොසන්සුන් වූ ජනතාවද කලහහාරී ලෙස හැසිරෙන්නට විය. තත්වය පාලනය කිරීමට පොලීසිය ගෙන්වීමට සිදුවිය.

එදින
ජාත්‍යාලයෙන් ඔද වැඩීගිය බොහෝ දෙනා කනත්තෙන් එලියට පැමිණ දෙමළ ව්‍යාපාරික ස්ථාන වලට පහර දෙන්නට විය පසුව මෙය මහා පරිමාණයෙන් රට පුරා පැතිර ගිය අතර විනාෂ වූ ජීවිත සංඛ්‍යාව ගැණිය නොහැකි තරම්ය. ඉන් දිවි බේරාගත් අය අතුරින් බොහෝ පිරිසක් දේශපාලන රැකවරණය පතමින් විදේශයන්ට පලා ගියහ.ලංකා ඉතිහාහාසයේ මහා කළු පැල්ලමක් වූ කළු ජූලියෙන් පසුව උතුරේ ත්‍රස්ථවාදී ක්‍රියා උත්සන්න වූ අතර රට දිගු කාලීන බිහිසුණු යුද්ධයකට තල්ලු වී ගියේය.

1987 දී සමතැන ලබා දීම

කළු ජූලියෙන් වසර හතරකට පසු 1987 දී එවකට පැවැති එ.ජා.ප රජය මගින් උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුමක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙසට ප්‍රකාශ කරන ලදී.එමෙන්ම බලතල විමධ්‍යගත කිරීම සඳහා පළාත් සභා ක්‍රමය ක්‍රමයද හඳුන්වාදුනි.තවද පෙර ඇතිකර තිබූ විකෘතිතා ඉවත්කර සියලුම ජාතීන්ට සමානාත්මතාවය ඇතිවන අයුරින් ව්‍යවස්ථාව සකස්කෙරිනි. නමුත් ඒවන විට ගැටළුව සංකීරණ තත්වයට පත්ව තිබූ අතර එම විසඳුම් ප්‍රමාණවත් ලෙස පිලිගැනීමට ත්‍රස්ථ නායකයෝ ක්‍රියා නොකලහ.


ඉන්පසු ගතවූ දශක දෙකෙන් වැඩි කාළයක් බිහිසුණු යුද්ධයකට මැදිවී ගත කරන්නට මෙරට ජනතාවට සිදුවූ අතර කොළඹ නගරයේ තැන තැන පිපිරී ගිය සිය ගණනක් වූ බෝම්බ වලින් අහිමි වූ ජීවිත ප්‍රමාණයද අතිමහත්ය. මහ බැංකු බෝම්බය වැනි ආර්ථික මර්මස්ථාන වලට එල්ලවූ ප්‍රහාර මගින් සිදුවූ දේපල හානියද අති විශාලය. ජනාධිපති ආර්.ප්‍රෙමදාස, ලලිත් ඇතුලත්මුදලි, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් වැනි නායකයන් රට අහිමි විය. සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳීමට බලයට පත් සෑම රජයක්ම උත්සාහ කලද ඒවා අසාර්ථක විය.

අවසන් සටන

2006 දී මාවිල් ආරු සොරොව්ව වසා යුද්ධය කැන්දා ගත්තේ ප්‍රභාකරන්ය ඉන් ඇවිලී ගිය හතරවන ඊළාම් යුද්ධය දිගින් දිගටම ප්‍රභාකරන්ගේ අවාසියට හේතුවිය. මානුෂීය මෙහෙයුම් සාර්ථකව ඉදිරියට ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා තීරණාත්මක කාර්යයක් ඉටු කල අතර 2009 මැයි මස 19 වනදා කොටි නායක ප්‍රභාකරන් නන්තිකඩාල් කළපුවේ දූපතක් තුල හිවලෙකුසේ මිය යන තුරුම මෙහෙයුම සාර්ථකව ඉදිරියට ගෙනයාමට මේ ත්‍රිත්වයට හැකිවීම අප කාගේත් වාසනාවකි.

අවසන් සටනේදී පමණක් දිවිපිදූ රණවිරුවන් ප්‍රමාණය 5,000 අධිකය.නිත්‍ය ආබාධිත වූවගේ සංඛ්‍යාව 25,000 වැඩිය. ගෙවුනු දශක තුන තිස්සේ රට වෙනුවේන් දිවි පිදූ රණවිරුවන් ගණනද අති විශාල වේ. අප මේ ගත කරමින් සිටින්නේ යුද්ධය නිමවී රට සාමය උදාවීමේ පළමු සංවත්සරයයි . එහිදී අප අපි වෙනුවේන් දිවි පිදූ රණවිරුවන් සිහිකලයුතු සේම අතීතයේ කල වැරදි යලි නොකිරීමටද වග බලා ගත යුතුය.